Monday, February 29, 2016

ලොව විශාලතම දිය යට කෞතුකාගාරය




              ලොව ජනප්‍රියතම සංචාරක ආකර්ෂණයක් වන මෙක්සිකෝවේ "අයිස්ලා මුජේරස්" ප්‍රාන්තයේ "කැන්කුන්"හි පිහිටි ජාතික කොරල් පර උද්‍යානයට වසරකට ලක්ෂ 5ක පමණ නරඹන්නන් පිරිසක් පැමිණේ.මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයේ කුයින්ටානාරු ප්‍රාන්තයේ නැගෙනහිරට වන්නට පිහිටි මෙම ප්‍රදේශය ඉතා සුපැහැදිලි නිල් ජලය සහිත කැබ්රියන් මුහුදු කලාපයට අයත් වේ. එරට ආර්ථිකයට බලපෑමක් නොවන අයුරින් හා සංචාරකයින්ගේ පැමිණීම අඩු නොවන ලෙසින් මෙම කොරල් පරයට සිදුවන හානිය අවම කිරීමේ ප්‍රයත්නයක්  ලෙස මෙම කෞතුකාගාරය ඉදිකිරීමට පියවර ගෙන තිබේ. 

              සංචාරකයින්ට කිමිදුම් කර හෝ දිය මත පාවෙමින් සිට නැරඹිය හැකි පරිදි මෙම කෞතුකාගාරය සකස් කර ඇත. ජීවමාන ප්‍රමාණයේ මුර්ති 400ක් පමණ මුහුදු පත්ලේ මේ වන විට තැන්පත් කර අවසන්ව තිබේ. විවිධ ඉරියව්වලින් සිටින හා විවිධ අවස්ථාවන් නිරූපණය කරන මානව රූපවලින් සැදුණු මෙහි නිර්මාණ PH අගය ඉතා අඩු කොන්ක්‍රීට් වර්ගයකින් නිර්මාණය කර ඇත. එහි ප්‍රධාන අරමුණ වන්නේ මෙම රූප මත ජලජ ඇල්ගී වර්ග, පැලෑටි හා කොරල් ජීවින් හට තැන්පත් වීමට ඉඩ සැලැස්වීමයි. එමඟින් එම රූප කෙටිකලකින් මුහුදු පත්ලේ පරිසරයට එක් වී නව පෙනුමක් ලබා දෙනු අැතැයි බලාපොරොත්තු වේ. එම කලා කෘතීන්ට විශේෂ අාකර්ෂණීය නිමාවක් ලැබෙන අතරම මුහුදු පැලෑටි හා කොරල් ජීවීන් බෝවීම මඟින් පරිසරය අාරක්ෂා වීමත් ඒ අාශ්‍රිතව විසිතුරු කොරල් මසුන් හට ජීවත් වීමට හා බෝවීමට සුදුසු පරිසරයක් නිර්මාණය වීමත් සිදුවේ. 

           අනතුරට හා විනාශයට පත්වෙමින් පවතින කැන්කුන් ප්‍රාන්තයේ ස්වභාවික කොරල් පරවලට අැති අතිවිශාල සංචාරක අාකර්ෂණය වෙනසකට යොමු කිරීමේ ව්‍යායාමය මේ වන විටත් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව සඳහන් කරන මෙහි ප්‍රධාන නිර්මාණ ශිල්පියා හා ව්‍යාපෘති නියාමකයා වන බ්‍රිතාන්‍ය ජාතික නිර්මාණ ශිල්පී "ජේසන් ටේලර්" මෙහි ඇති මූර්ති නිරන්තරව පරීක්ෂා කර ගනිමින් එහි පැවැත්ම පිළිබඳව අධ්‍යයනය කරයි. 



No comments:

Post a Comment