Tuesday, February 16, 2016

ඓතිහාසික කසාගල රජ මහා විහාරය

  Image result for kasagala viharaya



හැදින්වීම.....

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් කසාගල රජ මහා විහාරය රන්න වීරකැටිය මහා මාර්ගයේ රන්න හන්දියේ සිට කි.මි.9.6ක්  පමණ දුරින් පිහිටා ඇත. අනුරාධපුර යුගයේ සිට ඉදිවී ඇති මෙම විහාරස්ථානය රාජ රාජ මහාමාත්‍යාධීන්ගේ නොමද පැසසුමට හා අනුග‍්‍රයට යොමු වූ සේම විහාරය වෙත අක්කර පන්දහසක පමණ නින්දගම් ලබා දී ඇති බව පවසයි. විහාරයේ නාමය පිළිබඳ නිරුක්ති දක්වන්නන් සඳහන් කරන්නනේ මෙම ආරාමයේ වැඩ හුන් භික්ෂූන් වහන්සේලාගේ සිවුරු වියළීමට  නිතර විහාර භූමියේ ගල් මත එලා තිබූ නිසා ඒ අරුතින් කසාගල වූ බවයි. විහාර භූමියෙහි සෑම තැනම භූගෝලීය වශයෙන් පාෂාණ උද්ගත පිහිටා ඇත. නාම නිරුක්තිය අර්ථ ගැන්වෙන ශිලා ලේඛණයක් ද මෙම විහාර භූමියෙහි වෙයි.
රුහුණේ ගිරුවාපත්තුවට අයත් තංගලු විහාරයට කිරිවෙභෙර විහාරස්ථානයට හා කහඳාව පුරාණ විහාරස්ථානයට ඥාති බවක් ඇකි මෙම විහාර පරිශ‍්‍රය තුළ සිදු කරනු ලද පුරා විද්‍යාත්මක කටයුතු මඟින් ඓතිහාසික අවධි කිහිපයකට අයත් වැදගත් සාධක රැසක් හඳුනාගෙන ඇත. පෞරාණික ස්මාරක සහ ස්ථාන සම්බන්ධ සියළු පුරා විද්‍යාත්මක කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදුකෙරේ.
 

කසාගල රජ මහා විහාරයේ ඓතිහාසිකත්වය

කි‍්‍රස්තු පූර්ව තුන්වන සියවසේ දේවානම් පියතිස්ස රජුගේ අනුග‍්‍රහයෙන් "දෙතිස්එලරුහ" බෝධීන් වහන්සේ රෝපණයෙන් පසු කසාගල විහාරයෙහි මූලාරම්භය සිදුවී ඇති බවට මතයක් පවති. ක‍්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් සෙල්ලිපියක කහගල් විහාරය "කචගල පබ්බත" යනුවෙන් සඳහන් වන අතර, රහතන් වහන්සේලා මෙම ස්ථානයේ වැඩ සිටි බවත්, දළදා වහන්සේ වඩා හිඳුවා සිටි බවත්,සඳහන්වේ. කාවන්තිස්ස රජු විසින් (ක‍්‍රිස්තු පූර්ව 200-160) මෙම ස්ථානයෙහි ගොඩනැඟිලි කරවන ලද අතර, ඉන් පසුව 1වන දප්පුල (කි‍්‍රස්තු වර්ෂ 659)හා 1වන විජයබාහු (ක‍්‍රිස්තු වර්ෂ 1055-1110)යන රජ වරුන් විසින් එම ගොඩනැඟිලි ප‍්‍රථිසංස්කරණය කරනු ලැබේ.
කිර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසින් (ක‍්‍රිස්තු වර්ෂ 1747-1780)මෙම විහාරයට රන් පිළිමන් පරිත්‍යාග කර ඇති අතර මෙම කාලය තුළ දළදා පෙරහැර පවත්වා ඇත. අක්කර එක් දහසක් වූ සුවිශාල නින්දගමක් රජතුමාගෙන් ලැබීම හේතුවෙන් මෙය රජමහා විහාරයක් ලෙස ප‍්‍රසිද්ධිය උසුලයි. රුහුණු නැගෙනහිර ගිරුවාපත්තුවේ පිහිටි මෙම විහාරය අවට ප‍්‍රදේශයේ අනෙකුත් වෙභෙර  විහාර අතුරින් අද්විතිය ස්ථානයක් හිමිවෙයි. සියම් නිකායේ පූජ්‍ය වේහැල්ල ධම්මදින්න හිමියන් වර්තමාන නවෝදයේ නිර්මාතෘ වේ.
 

කසාගල විහාර සිතුවම්

මහනුවර සම්ප‍්‍රදායේ දකුණු ගුරුකුලයට අයත් ශිල්පීන්ගේ අනගි ප‍්‍රකාශනයන්ගෙන් යුක්ත වූ සිතුවම් සහ මූර්ති කසාගල ප‍්‍රතිමා ගෘහයෙහි ප‍්‍රවේශ මණ්ඩපය ප‍්‍රදක්ෂිණා පථය හා ගෘහය යන කොටස් තුනකින් සෑදුණු අවකාශය තුළ දක්නට ලැබේ. දක්ෂිණ ශෛලය සහ සංක‍්‍රාන්තින ශෛලය යන විශේෂ ශෛලීන් දෙකකට අයත් සිතුවම් මෙහිදි හඳුනා ගත හැකිය.
 
මෙහි ප‍්‍රවේශ මණ්ඩපයෙහි ඇති සිතුවම් මඟින් බුදු සිරිත නිරූපණය කෙරේ. දක්ෂිණ සම්ප‍්‍රදායේ සංක‍්‍රාන්තික සිතුවම් ශෛලය නියෝජනය කරන මෙම සිතුවම් වල වර්ණ, රේඛා, හැඩතල භාවිතා කර ඇති ආකාරය අනුව විහාර සිතුවම් පිළිබඳ විස්තරාත්මක සංරචනයක් ඉදිරිපත් කෙරේ. ගර්භ ගෘහය තුළ දක්නට ලැබෙන බුදු පිළිම සහ සිතුවම් ද ප‍්‍රවේශ ද්වාරය සහ ප‍්‍රදක්ෂිණා පථය ආශ‍්‍රිතව දක්නට ලැබෙන ද්වාර පාල මූර්ති, සම්ප‍්‍රදායික සැරසිලි සහ ජාතක කතා සිතුවම් ද මහනුවර සම්ප‍්‍රදායේ දක්ෂිණ ශෛලිය නියෝජනය කරයි. යුරෝපීය සංස්කෘතික ලක්ෂණ සහ නව කලා ශෛලීන්හි ආභාෂය මෙම සිතුවම් වෙත ලැබී ඇත. 

 k1k3k2

වාස්තු විද්‍යාව

ප‍්‍රාකාරය

පූජනීය ගොඩනැඟිලි සංකිර්ණය ආවරණය වන පරිදි ඉදිකරන ලද ප‍්‍රාකාරය දිගින් සහ පළලින් පිළිවෙලින් අඩි 236 – 402 වේග උසින් අඩි 5 1/2කි. ප‍්‍රාකාරය හරහා බටහිර සහ නැගෙනහිර පාර්ශව වලින් ප‍්‍රවේශ දොරටු පිහිටා ඇත. පූජනීය ගොඩනැඟිලි සංකීර්ණයෙහි ඊශාන දිශානුගතව ස්තූපය පිහිටි පාෂාණ පර්වතය යා කරමින් බටහිර සහ උතුරු ප‍්‍රාකාර ඉදිකර තිබේ. මෙබඳු  ප‍්‍රාකාර පුරාණ යුගයේ පටන් බෞද්ධ ආරාමික වාස්තු විද්‍යාව තුළ විශේෂ නිර්මාණ ලෙස සැළකේ.

ස්තූප

කසාගල පුරාණ විහාරයෙහි ඓතිහාසික හා පුරා විද්‍යාත්මක අගය වැඩි දියුණු කරනු ලබන වාස්තු විද්‍යා අංග අතරට එක් වන ස්තූප දෙකකි. ඉන් ප‍්‍රාකාරය ආශ‍්‍රිතව දක්නට ලැබෙන පාෂාණ උද්ගතය මත ඉදිවූ ස්තූපය විහාර භූමියේ උස් ස්ථානයේ පිහිටා ඇත. බෝධි ද්‍රාමයට ආසන්නව පිහිටි අනෙක් ස්තූපය දුටු ගැමුණු රජු සොහොයුරු සද්ධාතිස්ස රජු  (කි‍්‍රස්තු පූර්ව 119 – 137) විසින් වටදාගෙයක් ලෙස ඉදිකරවන ලදැයි සැළකේ.
 

ඉපැරණි බෝධි ප‍්‍රාකාරය

පූජනීය බෞද්ධ අංගයක් වන බෝධි වෘක්ෂය ආවරණය වන පරිදි ප‍්‍රාකාර හෝ බෝධිකර ඉදිකිරීම බෞද්ධ වාස්තු විද්‍යාවේ විශේෂ අංගයකි. කසාගල විහාරයේ දෙසිත්එලරුහ බෝධීන් වහන්සේ වටා ගල්, ගඩොල් සහ හුණු බදාමයෙන් ඉදිකරන ලද ප‍්‍රාකාරය ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසට පමණ අයත් වේ.  බෝධි ප‍්‍රාකාරය අසළ ඇති ඉපැරණි ගල් කුළුණු සමූහය දේවානම්පියතිස්ස රජු (ක‍්‍රිස්තු පූර්ව 236-207) විසින් කරවන ලදැයි සැළකෙන ඉපැරණි පිළිම ගෙයට අයත් නෂ්ටාවශේෂ වේ. කුඩා පිළිම ගෙයක මූලික සැළසුමට අයත්  ඉපැරණි අංග එහි දෘෂ්‍යමාන වේ.

ඉපැරණි පිළිම ගෙය

පූජනීය ගොඩනැඟිලි සහ සංඝාවාස භූමිය වෙන් කරමින් ඉදිකරන ලද බටහිර දිශානුගත ප‍්‍රාකාරය හරහා පියගැට දහයකින් යුක්ත සෝපාන පෙළ නිර්මාණය වී ඇත.
 


සෝපාන පෙළ

පූජනීය ගොඩනැඟිලි සහ සංඝාවාස භූමිය වෙන් කරමින් ඉදිකරන ලද බටහිර දිශානුගත ප‍්‍රාකාරය හරහා පියගැට දහයකින් යුක්ත සෝපාන පෙළ නිර්මාණය වී ඇත.
 

පිළිම ගෙය

දුටු ගැමුණු මහරජතුමා (ක‍්‍රිස්තු පූර්ව 161- 137) විසින් යුධ පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා කළ ඓතිහාසික භූමියෙහි පසු කාලීන රාජකීයයන් විසින් ගොඩනඟන ලද මාළිගය  කීර්ති ශ‍්‍රී රාජසිංහ (ක‍්‍රිස්තු වර්ෂ 1747-1780) රජු විසින් පිළිම ගෙයක් බවට පරිවර්තනය කරන ලදී. එතුළ මහනුවර සම්ප‍්‍රදායේ බුදු පිළිම, ද්වාර පාලක පිළිම, ශ‍්‍රාවක පිළිම සහ සිතුවම් නිර්මාණය කර ඇත.
 
 

අභිලේඛණ

ඕනෑම මතුපිටක ලියැවුණු පැරණි ලේඛනයක් හෝ සංකේත අභිලේඛන යනුවෙන් හැඳින්විය හැක. ක‍්‍රිස්තු පූර්ව හය වන සියවසේ පමණ සිට ශ‍්‍රී ලංකාවේ අභිලේඛන ලිවීම ආරම්භ වී ඇත. මේ සඳහා පාෂාණ පෘෂ්ට, මැටි, ලෝහ, තල්පත් වැනි මාධ්‍ය උපයෝගි කොට ගෙන ඇත. අභිලේඛණ පිහිටි ස්ථාන සහ මාධ්‍ය අනුව සෙල් ලිපි, ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි, පාදම් ලිපි, සන්නස්, ලෝහ පත් ඉරු, පුස්කොළ පත්, කරඩු ලිපි යන ආදී වශයෙන් වර්ග කෙරේ. ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන වලින් දැනට හමුවි ඇති මෙම ලේඛන බ‍්‍රාහ්මි, සිංහල , පාලි. සංස්කෘත, දෙමළ, අරාභි, චින සහ ඉංග‍්‍රීසි යන අක්ෂර හා භාෂා වලින් ලියැවී ඇත. ශිලා ලේඛණ අධ්‍යනය කිරීමෙන්  සමකාලීන සමාජයෙහි පැවති ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, හා සමාජිය තොරතුරු රැසක් හඳුනා ගත හැකිය.


කසාගල විහාරයේ දක්නට ලැබෙන ශිලා ලේඛන

ක‍්‍රිස්තු වර්ෂ 5-6 වන සියවස් අතර කාලයට අයත් වන මෙම ලිපිය ලියැවී ඇත්තේ පරිවර්තිත බ‍්‍රාහ්මී අක්ෂරයෙනි. පුරාණ සිංහල භාෂාව මෙහි දක්නට ලැබේ. "මණි අබ " නම් තැනැත්තා වහල් බවින් (වහරල) මුදවන බව මෙම සෙල් ලිපියේ සඳහන් වේ.
 
ක‍්‍රිස්තු වර්ෂ 5-6 වන සියවස් අතර කාලයට අයත් වන මෙමම ලිපිය ලියවී ඇත්තේ පරිවර්තිත බ‍්‍රාහ්මී අක්ෂරයෙනි. පුරාණ සිංහල භාෂාව මෙහි දක්නට ලැබේ. කිසියම් ගමක වාසය කරන "කහදලනි" නම් තැනැත්තා වහල් බවින් (වහරල) මුදවන බව මෙම සෙල් ලිපියේ සඳහන් වේ.


No comments:

Post a Comment