Tuesday, February 23, 2016

ඓතිහාසික රම්බා රජමහා විහාරය

  මෑතක් වන තුරු කිසිවෙකුගේ අවධානය යොමු නොවූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රදේශයට අයත් මෙම විහාරය අතීතයේදී රෝහණයේ භික්ෂූන් වහන්සේලාට ඔවුන්ගේ  බණ භාවනා සඳහා ඉදිවී තිබූ අධ්‍යාපන මධ්‍යස්ථානයකි.
 මෙම රම්බා විහාරය හා බැඳි ජනප්‍රවාද සහ වෘතාන්ත ගණනාවක් පවතින අතර ඒ අතර 15 වන ශතවර්ෂයේ කෝට්ටේ විසූ 6 වන පරාක්‍රමබාහු රජුගේ තරුණ බිසවක් වන රම්බා දේවිය මෙහි ඇති ස්තූපයක නඩත්තු කටයුතු සිදු කිරීම නිසා මෙය "රම්බා විහාරය" වූ බව කියැවේ. එමෙන්ම අතිතයේදී මෙහි පාළි නාමය "කඳලී" වේ. කඳලී යනු "කෙසෙල්" යන්නයි. එනම් වර්තමානය වන විටත් මෙහි කෙසෙල් වගාවන් දක්නට ඇති බැවින් මේ බව තහවුරු කරගැනීමට හැකිය. 5වන මහින්ද රජුගේ කාලයේදී චෝල අක්‍රමණය නිසාවෙන් සියළු දෙනා රෝහණයට පළාගිය අතර එහෙයින්  ඒ අතර තුර කාලයේදී මෙම රම්බා විහාර සංකීර්ණයේ මූලික වැඩ කටයුතු නිම වී ඇති බවත් සඳහන් වේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙහි කැනීම් හා පර්යේෂණ අධ්‍යයනයන් තුළින් මෙහි විහාර සංකීර්ණ 21කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර එහි පැරණි ළිඳක් හා පොකුණක් ද, වේ. මෙම ළිං හා පොකුණු භාවිතා කරන්නට ඇත්තේ අතීතයේ භික්ෂූන්ට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා විය හැක. එමෙන්ම මෙම ජල පරිභෝජනය සඳහා මෙම විහර සංකීර්ණයට බටහිරින් පිහිටා ඇති වලවේ ගඟින් ද, ජලය ලබා ගන්නට ඇතැයි යන්න ඉදිරිපත් කළ හැකි  හොඳම උදාහරණය නම් 1 වන ආරාම සංකීර්ණයෙන් වලවේ ගඟට මායිම්ව හා ගඟට බැසීම සඳහා පඩි ගල් 07ක් ඉදි වී තිබීමයි.
 එමෙන්ම 15 ආරාම සංකීර්ණයට අදාළව සන්නිපාත ශාලා, ස්තූප හමුවී ඇති අතර 22 වන ආරාම සංකීර්ණයට අදාළව විශේෂිත වූ පිළිමගෙයක් සොයාගෙන ඇත. එනම් එම පිළිමගෙය ගන්ධකුටි සම්ප්‍රදායට අයත් වන අතරම එහි මධ්‍යයේ ඇති හිටි බුදු පිළිමය තුළින් පොළොන්නරු යුගයේ නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කරයි.
 මේ අනුව බලන කළ මානාවුළුපුරවරයේ පිහිටි මෙම රම්බා විහාර සංකීර්ණය මුලිකවම අනුරාධපුර යුගයේ අවසාන භාගයේ ඉදි වූවත්, නිශ්ශංකමල්ල වැනි රජවරුන්ගේ අනුග්‍රහය ඇතිව මෙහි විවිධ කාලවලදී ප්‍රතිසංස්කරණමය කටයුතු සිදු වී ඇති බව මෙම විහාරයේ දැනට අස්ථාන ගත වී ඇති ලිපියකින් පැහැදිලි වේ. මෙම ඓතිහාසික රම්බා විහාරය ලංකාව තුළ වඩාත් ප්‍රචලිත නොවූවද, ශ්‍රී ලංකාවේ ඉතිහාසය කියාපාන ඉතාමත් වැදගත් විහාරයකි      





No comments:

Post a Comment