කුෂ්ඨරාජගල සම්බන්ධව ජනප්‍රවාදයන්ද පවතී. ඉන් එකකට අනූව මෙම ප්‍රථිමාව, කුෂ්ඨ රෝගයක් වැළඳුණු හතරවැනි අග්බෝ රජු දේව ආශීර්වාදය ලබා ගැනීමේ අරමුණින් දෙවුන්දර පිහිටි දේවාලයට පැමිණි අවස්ථාවේ නාථ දෙවියන්ගේ රූපයක් ඉදිකිරීමට සිදුකල බාරවීමකට අනූව ඉදිකරන ලද්දක් වේ. කුෂ්ඨ රෝගයෙන් සුවවීමෙන් අනතුරුව රජු විසින් බාරය ඔප්පු කිරීමක් වශයෙන් වැලිගම අවලෝකිතේශ්වර නාථ රූපය කරවූවේ යැයි ජනවහරෙහි දැක්වේ
කුෂ්ඨරාජගල ප්‍රථිමාව මගින් මහායාන බුදුධහමට අයත් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නිරූපණය වන බැව් පිළිගැනීමට ලක්ව තිබේ. මහායාන බෝධිසත්ව ප්‍රථිමා හී ජටා මකුටයෙහි (ශීර්ෂාභරණයෙහි) සමාධි බුදු පිළිමයක් අන්තර්ගතවීමත්, මෙම ප්‍රථිමාවේ ජටා මකුටයෙහි සමාධි බුද්ධ ප්‍රතිමා සතරක්ම දැකගත හැකි වීමත් ඊට හේතුව වී තිබේ. මීට අමතරව මහායානිකයන් විසින් රෝග සමනය උදෙසා අවලෝකිතේශ්වර නාථ දෙවියන් පිදීම හා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් දක්වනු ලැබූ නේපාල ලිපියක, නාථ දෙවියන් ගේ එකසිය අටක් වූ අවතාර අතරේ සිංහනාද අවලෝකිතේශ්වර රෝග සමනය කරන්නෙකු බවත් එනිසාම සිංහල ද්වීපයෙහි ආරෝග්‍යශාලා ලෝක නාථ නාමය ව්‍යවහාර කරන බව, සඳහන් කිරීම නිසා මෙම මතය ඇති වී තිබේ.
උසින් අඩි අටක් පමණ වන, පිහිටි ගලට අනුබද්ධවන ලෙස නිර්මාණය කොට ඇති මෙම ප්‍රථිමාවේ යටිකය දෝතියකින් සරසා තිබේ. එම පිළිමයේ උඩුකයේ උදර බන්ධනයකින් දැකගත හැකිවන අතර ගෙලෙහි මාල හා දෑතෙහි වළලු පවතී. දෙකන් ලම්බකර්ණව දක්වා ඇති අතර ඒවා කුණ්ඩලාභරණවලින් අලංකෘතය. දෙඅත් මගින් මුද්‍රාවන් දක්වයි. ඉන් දකුණු හස්තයෙන් විතර්ක මුද්‍රාව හා වම් හස්තයෙන් ආහ්වාන මුද්‍රාව දක්වන බව උල්රිච් වොන් ශ්‍රොඩර් මහතාගේ, බුඩිස්ට් ස්කල්පචර් ඉන් ශ්‍රී ලංකා (Buddhist Sculptures in Sri Lanka) නමැති ග්රන්ථයෙහි සඳහන් කර ඇත. එසේම ජටා මකුටයෙහි සමාධි බුදුපිළිම 4 ක්ම නෙළා ඇති මෙරට එකම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය ලෙසද කුෂ්ඨරාජගල පිළිගැනේ.
No comments:
Post a Comment