Monday, February 15, 2016

බුදු බැතිය ඉතිරෙන ඉන්දුනීසියාවේ බොරෝබුදුර්






දහතුන් වන සියවසට පෙර ඉන්දුනීසියාවේ ආගම වූයේ බුදුදහම හා හින්දු ආගම යි. ගන්ධාර කලා සම්ප්‍රදායට අනුව නිර්මාණය කළ ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසට අයත් බුදුපිළි ම රාශියක් ඉන්දුනීසියාවේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇත.
ඒ අනුව අතීතයේ පටන් එරට බුදුදහම පැතිරුණ බව සිතිය හැක. එය සිදුවුණේ ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර පැවැති වෙළෙඳ කටයුතු හේතුවෙනි. බෞද්ධ වෙළෙන්දන්ගේ මාර්ගයෙන් ඉන්දුනීසියානු වැසියන් බුදුදහම ගැන දැනගන්නට ඇතැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති.
කෙසේ වුව ද, ඉන්දුනීසියාවේ බුදුදහම පැතිරීම ගැන මුලින්ම තොරතුරු ලැබෙන්නේ චීන ජාතික පාහියන් හිමියන් ක්‍රිස්තු වර්ෂ 414 දී ජාවා රටට පැමිණීමෙන් පසුව යි. උන්වහන්සේ වාර්තා කරන අන්දමට එකල එරට වඩාත් ප්‍රබලව පැතිර තිබුණේ හින්දු ආගම යි.සිව්වන සියවසේ දී බුදුදහම ඉන්දුනීසියාවට හඳුන්වා දුන් භික්ෂුව හැටියට බොහෝදෙනා පිළිගන්නේ ගුණවර්මන් නමැති හිමියන් ය. එය සිදුවුණේ පාහියන් හිමියන් එහි එන්නට අවුරුදු දහයකට පමණ පෙර දී ය. ගුණවර්මන් හිමි කාශ්මිර දේශයේ රාජකුමාරයෙකි.
ජීවිතය ගැන කලකිරී පැවිදිවීමෙන් පසු උන්වහන්සේ ලක්දිවට පැමිණියහ. බුදුදහම ඉගෙන භාවනානුයෝගිව වැඩසිටියදී සිල්වත් බව නිසා ගුණවර්ම හිමියන් ප්‍රසිද්ධියට පත් වූ අතර උන්වහන්සේ එයට කැමැත්තක් දැක්වූයේ නැත. එමනිසා උන්වහන්සේ ඉන්දුනීසියාවේ ජාවා රටට වැඩම කළහ. ජාවා රටේ රජුගේ මව ගුණවර්මන් හිමියන්ගෙන් බණ අසා බුදුදහම වැළඳගත්තාය. පසුව රජු ද බුදුදහම ගැන පැහැදී පැවිදි වන්නට සිතුවේය. නමුත් ගුණවර්මන් හිමි දැහැමිව රාජ්‍ය පාලනයේ යෙදෙන ලෙස ඔහුට උපදෙස් දුනි. එය පිළිගත් රජු බුදුදහමට අනුව රට පාලනය කළේය. රටවැසියෝද රජු අනුගමනය කරමින් සදාචාර සම්පන්නව, සමගියෙන් ජීවත්වූහ.
ඉන්දුනීසියාවේ මුල්ම බෞද්ධ රාජධානිය ලෙස සැලකෙන්නේ මධ්‍යමස ජාවා ප්‍රදේශයේ කාලිංග රාජ්‍යය යි. එහි පැවැතියේ ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය යි. එහි රැජිණ ඉතා දැහැමිව කාලිංගය පාලනය කළාය. එක් ජනප්‍රවාදය සඳහන් වන අන්දමට එකල අරාබි දේශයෙන් පැමිණි රජෙක් එරට වැසියන් හැබෑවට ම දැහැමි පුද්ගලයන් දැයි පිරික්සන්නට සිතාගෙන පාරක් අද්දර රත්තරන් කැබැල්ලක් තැබුවේය. කිසිවකු එය ගත්තේ නැත. නමුත් රැජිණගේ පුත් කුමරු එය අල්ලා බැලුවේය. එම වරදට ඔහුගේ අත කපන ලෙස අරාබි රජු රැජිණගෙන් ඉල්ලා සිටියේය. නීතියට ගරුකරමින් එය ඉටුකරන්නට ඇයට සිදුවිය.
දහවන සියවස ඉන්දුනීසියාවේ බුදුදහම බැබළුන යුගයකි. එය සුමාත්‍රාවේ ශ්‍රී විජය රාජධානි සමය යි. ඉට්සිං නමැති චීන ජාතික හිමියන්ගේ වාර්තාවේ සඳහන් කර ඇති ආකාරයට, එකොළොස් වන සියවසේ ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් සුමාත්‍රාවේ තිබුණි.
ඉන්දුනීසියානු බෞද්ධ ඉතිහාසයේ වැදගත් පරිච්ඡෙදයක් වන්නේ නවවන සියවසේ පැවැති ශෛලේන්ද්‍ර රාජධානි යුගය යි. මධ්‍යම ජාවා ප්‍රදේශයේ තිබෙන බොරෝ බුදුර් විහාරය ඉදිකෙරුණේ ශෛලේන්ද්‍ර රජ සමයේදී ය. ක්‍රිස්තුවර්ෂ 800 දී පමණ ඉදිකිරීම් ඇරඹුන බුදුකන්දේ වැඩ නිමවන්නට අවුරුදු 70ක් පමණ ගත විය. විහාරයේ කටයුතු අවසන් වන කාලයේ ජාවා රට රජකළේ සමරතුංගා රැජිණ යි. ඇය හින්දු කුමාරයකු සමඟ විවාහ විය. එය බෞද්ධ හා හින්දු ආගම මිශ්‍රව පැවැති කාලයකි. ඒ හේතුවෙන් බොරෝබුදුර් සිද්ධස්ථානයේ කලා නිර්මාණයන්හි එම ආගම් දෙකේ මිශ්‍රණයක් දක්නට ඇත.
Image result for borobudur
Add caption
ඉන්දුනීසියාවේ මෙගලන් ප්‍රදේශයේ පිහිටි බොරෝබුදුර් සිද්ධස්ථානයට එම නම ලැබුන හැටි අපැහැදිලි ය. බොරෝ ගම ආසන්නයේ භූමිධරයක (කන්ද) පිහිටි නිසා එම ලැබෙන්නට ඇතැ යි සමහරු කියති. ඇතැමුන් එය හඳුන්වන්නේ බුදුකන්ද යනුවෙනි. සියවස් ගණනාවක් ලාවා ගිනි අළුවලින් වැසී තිබුණ බොරෝබුදුර් 1814 වසරේ දී සොයාගත්තේ ශි‍්‍රමත් තෝමස් රැපල් නමැති ඉංගී‍්‍රසි ජාතිකයා ය. පුදබිම ඉදිකර තිබෙන්නේ වේදිකා තුනක පිහිටි ආකාරයෙනි. බුදුදහමේ සඳහන් 1 කාම ලෝක 2 රූප ලෝක 3 අරූප ලෝක එයින් අදහස් වෙයි. පළමුවන වේදිකාවේ බුදුපිළිම 504ක් සහ දහසකට අධික කැටයම් ඵලක තිබේ. දෙවන වේදිකාවේ ද බුදුපිළිම 72ක් හා ඇත. ඒ අතර පිවිසුම් දොරටු තිබේ. ඉහළ වේදිකාව මත කුඩා දාගැබ් රැසකි. මැද විශාල දාගැබකි. බොරෝබුදුර් විහාර සංකීර්ණයෙන් දැක්වෙන්නේ විශ්වය පිළිබඳ බෞද්ධ බෞද්ධ මතය නිරූපනය කිරීමකි. මායාවරුන්ගේ හිරු දෙවොල, ඊජිප්තුවේ පිරමිඩ,
කම්පුචියාවේ අන්කෝර් වට් ආදියෙහි ආකෘති සමඟ සසඳන විට බොරෝබුදුර් විහාරය ද ස්වරූපයෙන් තරමක් ඒවාට සමාන ය. එමෙන්ම සංකල්පයෙන් ද විශ්වය සමඟ සබඳකමක් දක්වයි. එහි ලේඛනයක සඳහන් පරිදි මෙම විහාරස්ථානය නම් කර තිබෙන්නේ ජිනාලය යනුවෙනි. 1935 පුරා විද්‍යාඥයන් සොයාගෙන තිබෙන අන්දමට මෙම විහාරය ඉදිකර ඇත්තේ විශාල ජලාශයක් මැද ය. ඒ නිසා පද්ම විහාරය යනුවෙන් ද බොරෝබුදුර් හැඳින්විවෙයි. එය නිර්මාණයේ දී කම්ම විභංග, ලලිත විස්තරය, ජාතක අවධානය වැනි බෞද්ධ ග්‍රන්ථවලින් කරුණු ගෙන ඇත.
ඉන්දුනීසියාවේ සමරතුංගා රැජිණගේ දියණිය වූ ප්‍රමෝදවර්ධනී කුමරිය සයිලේන්ද්‍ර රජ පරපුරේ තම ඥාතීන්ට පින් පිණිස ජිනාලය විහාරයේ පැවැත්මට බද්දෙන් තොර භුමිසම්භාරයක් පිදූ බව ශිලාලේඛනයක සඳහන් වෙයි. මෙම බොරෝබුදුර් විහාරයට තරමක් ආසන්නයේ පාවොන් හා මෙන්දුත් නමින් විහාරස්ථාන දෙකක් ඇත.
දහ හතරවන සියවසේ මජාපාහිත් රාජධානි සමයේ පටන් ඉන්දුනීසියාවේ බුද්ධාගමේ අභාවය ඇරඹුණි. එරට රජු මුස්ලිම් කුමරියක විවාහ කරගත්තේය. තමන්ට ඉස්ලාම් ආගම ඉගෙනීමට වුවමනා බව දන්වා එම බිසොව මුස්ලිම් ගුරුවරුන් රජමැදුරට ගෙන්වා ගත්තාය. ඇයගේ අනුග්‍රහයෙන් මුස්ලිම් පූජකවරුන් විශාල සංඛ්‍යාවක් ඉන්දුනීසියාවට පැමිණ ඉස්ලාම් ආගම ඉගැන්වූහ. ධර්මෝගන්දුල් සහ ගතෝ ලෝකෝ නමැති ලේඛනවල බෞද්ධයන් සමඟ ඔවුන් සිදුකළ වාද ගැන සඳහන් වෙයි. විවාදයෙන් පරාජය වීම නිසා මුස්ලිම් පූජකරු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළහ. ඔවුන්ගේ උපාය වූයේ මුස්ලිම් බිසොවට දාව උපන් කුමරු ලවා බෞද්ධයකු වූ පියරජු ඝාතනය කිරීම යි. ඒ අනුව රාදන් පාටා නමැති මුස්ලිම් රජකුමරු හමුදාව මෙහෙයවමින් පන්සල් වනසා බෞද්ධ ග්‍රන්ථ ගිනි තැබුවේය. බෞද්ධ ඇමතිවරුන් දෙදෙනකු සමඟ පිය රජු පලා ගියත් පසුව ඔහු අත් අඩංගුවට පත්විය. ඉන්පසු ඉස්ලාම් ආගම ඉන්දුනීසියාවේ රාජ්‍ය ආගම ලෙස නම් කෙරුණි.
පහළොස්වන සියවසෙන් පසු කාලය ඉතිහාසඥයන් හඳුන්වන්නේ බුදුදහම නිදිගත් යුගය යනුවෙනි. ඉස්ලාම් බලපෑම්වලින් ඉන්දුනීසියානු වැසියන්ගෙන් බුදුදහම මුලුමනින් ඉවත්කිරීමට නොහැකි වුණි. බොහෝ ජනයා තමන් මුස්ලිම් බව වචනයෙන් ප්‍රකාශ කළත් ඔවුහු හදවතින් බෞද්ධයෝ වූහ. ඒ අයුරින් හෝ ඉස්ලාම් ආගම වැළඳගන්නට අකමැති වූ බෞද්ධයෝ බෞද්ධයෝ පිටිසර ප්‍රදේශවලට ගියහ. අදත් එම පරම්පරාවලට අයත් බෞද්ධයෝ සිටිති. ඔවුන්ගේ සංඛ්‍යාව දහතුන් ලක්ෂයකට අධික ය. නමුත් තමන්ගේ දරුවන්ට බුදුදහම කියාදෙන්නට ඔවුන් ඒ ගැන කිසිවක් දන්නේ නැත. පිරිස් සුලේබ් ප්‍රදේශයේ ජීවත්වන බිෂු නමින් හැඳින්වෙන ගිහි පිරිස විවාහ ගිවිස ගන්නේ නැත. ඔවුන්ගේ ආගමික කටයුතු තන්ත්‍රයාන බුද්ධාගමට සමාන ය.
මුස්ලිම්කරණයට ගොදුරු වුවත්, බුදුකන්ද පන්සල (බොරොබුදුර්) ඉන්දුනීසියානු වැසියන්ගේ හදවත්වලින් ඈත් නොවුණි. එමනිසා , එරට රජු බොරෝබුදුර් යනු රටට හා වැසියන්ට අවාසනාව විපත් ගෙන දෙන තැනක් ලෙස නම් කොට එහි යාම තහනම් කළේය. 1757 වසරේදී බුදුකන්දෙන් රජමැදුරට බුදුපිළිමයක් රැගෙන ඒමෙන් පසු ඔටුන්න හිමි සුල්තාන් යෝගකර්තා රජකුමරු මියගිය නිසා බොරෝබුදුර් තහනම් පෙදෙසක් ලෙස නම් කර ඇත.
ඉන්දුනීසියාවේ බුදුදහම නැවත අවදිවුණේ පසුගිය සියවසේ මුල් අවදියේ දී ය. එහි ගෞරවය හිමිවන්නේ කොළඹ වජිරාරාමවාසී නාරද හිමියන්ට ය. උන්වහන්සේ 1934 මාර්තු මාසයේ ඉන්දුනීසියාවේ නොයෙකුත් පළාත්වලට වැඩම කරමින් ධර්මදේශනා පැවැත්වූහ. බෞද්ධ සංවිධාන ඇරඹුහ. ඉන්පසු තායි, බුරුම හා චීන භික්ෂූන් ද ඉන්දුනීසියාවට වැඩම කළ අතර, උන්වහන්සේලා එරට වැසියන් පැවිදි කර පන්සල් සෑදුහ.
ඉන්දුනීසියාවේ රජය මගින් නීතිගත කළ පංචශීල ප්‍රතිපත්තියක් තිබේ. ඒ අනුව ආගමික නිදහස් අරුත් ගන්වා ඇත්තේ එක දෙවියකු අදහන ලෙස අදහන ලෙස යි. එය දෙවියන් නොඅදහන බෞද්ධයන්ට ප්‍රශ්නයකි. 1985 සිට වරින්වර අවස්ථා කීපයක දී ම අන්තවාදී සිදුකළ බෝම්බ පිපුරුම්වලින් දාගැබ් කීපයක් විනාශ වුණි. වාර්ෂිකව බොරෝබුදුර් වෙත පැමිණෙන ගණන මිලියන තුනක් පමණ වෙයි. යුනේස්කෝ සංවිධානය බොරෝබුදුර් සංරක්ෂණ කටයුතු 1982 වසරේ දී නිමකිරීමෙන් පසු 1991 ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. ලෝකයේ ලොකුම බෞද්ධ සිද්ධස්ථානය ලෙස ගිනස් පොතේ දැක්වෙන්නේ බොරෝබුදුර් ය.

No comments:

Post a Comment