Monday, February 22, 2016

ලෝක උරුම නම බබළන ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය...

ලෝක උරුම නම බබළන ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය...


මෙරට පරිසර පද්ධතීන් 03ක් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ පිහිටි ඉතා සුන්දර වු මධ්‍යම කඳුකරය ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේදී බ්‍රසීලයේ බ්‍රසීලියා නම් නගරයේ දී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
 අතීතයේදී මෙරට බ්‍රිතාන්‍ය පලන සමයේදී එනම් 1833 වර්ෂයේ දී එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ ශ්‍රීමත් රොබට් හෝර්ටන් ආණ්ඩුකාරවරයා හට ගරු කිරීමක් වශයෙන් "හෝර්ටන් තැන්න" ලෙස නම් කරන ලද අති සුන්දර භූමි ප්‍රදේශය මීට පෙර හැඳින්වූයේ "මහ එළිය", "මැණික් තැන්න" ආදී නම් වලිනි. එමෙන්ම 1969 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනි දින ස්වභාවික රක්ෂිතයක් ලෙස හෝර්ටන් තැන්න හැඳින්විය හැක. මීට අමතරව මේ ආශ්‍රිතව පවතින පාරිසරික හා  භූගෝලීය වැදගත්කම සහ ජෛව විවිධත්වය වැනි සාධක අනුව 1988 වන වර්ෂයේ මාර්තු මස 10 වැනි දින මෙම හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.    

                          

 මීට අමතරව මධ‍යම කඳුකරයේ පිහිටි නකල්ස් කඳුවැටිය ආශ්‍රිතව ඇති රක්ෂිතයද යුනෙස්කෝ සංවිධානයේ නෙත ගැටුණු තවත් ස්වභාවික උරුමයකි. මෙය ශ්‍රී ලංකාවේ ගිනිකොණ සිට වයඹ දිශාවට එනම්,ලග්ගල සිට ඌරුගල දක්වා සැතපුම් 12ක් පමණ ඈතට විහිදේ.  නකල්ස් කඳුවැටිය "දුම්බර කඳුවැටිය" යන අන්වර්ථ නාමයෙන් ද, හඳුන්වන අතරම පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයක් හිමි කරගනී. මෙම රමණීය නකල්ස් පෙදෙස නිරතුරුවම පාහේ මීදුමින් වැසී පැවතීම හේතු කොටගෙන "දුම්බර" යැයි හඳුන්වා ඇත. ගොම්බානිය, නකල්ස්,කෙහෙල්පොත්දොරුව ගල, කළුපහන, දෝතළුගල වමාරපුගල, තෙලඹුගල, ලකේගල, නමැති උස් කඳුවලින් සමන්විත මෙම දැඩි රක්ෂිතය හෙක්ටයාර් 28,000ක් පමණ භූමි ප්‍රමාණයක් පුරා ව්‍යාප්ත වී ඇති ආකාරයක් දැකිය හැකිය.
                          

මීට අමතරව යුනෙස්කෝ සංවිධානයේ අවධානට යොමු වූ තවත් වැදගත් අංගයක් වන්නේ මධ්‍යම කඳුකරයට අයත් වන සමනල කන්දයි. මෙහි පිහිටීම දෙස බැලූ විට මධ්‍යම හා සබරගමු පළාත්වලට මායිම්ව සහ මුහුදු මට්ටමින් මීටර් 2244ක් උසකින් යුක්තව පිහිටා ඇත. එක් ආගමකට පමණක් සීමා නොවූ දෙස් විදෙස් සියලු ආගමිකයන්ගේ සිත් දිනාගත් හා භක්තියක් ගෙන දුන් සංස්කෘතිමය අතින් වැඩි වැදගත්කමක් සමනල කන්දට හිමිවේ. එනම් සමනල කන්ද අඩවියේ පිහිටි ශ්‍රී පාදස්ථානය නිසාවෙන් මෙය වඩාත් ගෞරවාදරයට පත්ව ඇති අතර බෞද්ධයන් විශ්වාස කරනුයේ මෙහි ගෞතම බුදුරජානණ් වහන්සේගේ සිරි පතුල පිහිටා ඇති බවයි. එමෙන්ම කතෝලික ජනතාව විශ්වාස කරනුයේ මෙහි ආදම්ට අයත් සලකුණක් තිබෙන බවයි. මේ කෙසේ වෙතත් වෙනසකින් තොරව සියලු දෙනාම පාහේ එක සේ වන්දනාමාන කිරීමට මෙහි පැමිණේ. සමනල කන්ද වටා අක්කර 56,000ක් පුරා පැතිරී ඇති පාරිසරික වශයෙන් වැදගත් භූමි භාගය නිසාවෙන්ම 1940 ඔක්තෝම්බර් මස 25 වැනි දින මෙම ප්‍රදේශය අභය භූමියක් ලෙස ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කරන ලදී.   
                          

මේ අනුව බලන කළ මීට පෙර නම් කරන ලද අනුරධපුරය, පොලොන්නරුව, මහනුවර, දළදා මාලිගය, සිංහරාජ වනාන්තරය ලෝක උරුමයන් ලෙස නම් කළ අතරම මෙම මධ්‍යම කඳුකරයේ ඇති උරුම තුනත් සමඟ ශ්‍රී ලංකාවේ ලෝක උරුම සංඛ්‍යාව ඉහළ ගියද, එහි ඇති ප්‍රධානතම සුවිශේෂත්වය වන්නේ අලුතෙන් එකතු වූ මෙම ලෝක උරුමය ස්වභාවික උරුමයක්  වීමයි. 



                               

No comments:

Post a Comment