Wednesday, February 10, 2016

සිතුල්පව්ව විහාරය

       තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සිතුල්පව්ව විහාරය තිස්සමහාරාමයේ සිට සැතපුම් 18ක් ගිය පසු යාල ජාතික උද්‍යානය අසල පිහිටා ඇත. හාත්පසින් ජාතික උද්‍යානයෙන් වටවී ගිය මෙම විහාරයේ නටඹුන් රැසක්  දැනටමත් කැලෑවෙන් වැසී ගොස් ඇත.මෙහි වු නටඹුන් අතරින් ඉතා සුළු ප්‍රමාණයක් දැනට හඳුනාගෙන ඇත.


       මහ සිතුල්පවුව, කුඩා සිතුල්පවුව, ආකාශ චෛත්‍යය, කොරවක් ගල යන ස්ථානවල නටඹුන් පැතිර ඇත.ඒ ආශ්‍රිත කටාරම් කෙටූ ගල් ලෙන් සිය ගණනක් හදුනා ගත හැකිය.       

            ශිලා ලේඛන හා වංශකතාවල ප්‍රකට චිත්තල පබ්බත විහාරය මෙය වේ. රුහුණ පාලනය කල කාකවණ්ණ තිස්ස රජතුමා විසින් මෙම විහාරස්ථාන කල බව සඳහන් වේ. රජු විසින් භික්ෂූන්ට අවශ්‍ය දාන ශාලා, ධර්ම ශාලා, උපස්ථාන ශාලා හා ගිනිහල් ගෙවල් ඉදිකොට සදේව නම් මහරහතන් වහන්සේ ඇතුළුව දොළොස් දහසකට අධික මහ රහතන් වහන්සේ ඉදිරියේ සත් දිනක් පූජා පවත්වා සඝසතු කල බව මහා වංශයේ සඳහන් කරයි.

            මෙහි පැරණි ස්ථූප, පොකුණු, බුදු පිළිම, බෝධිසත්ව පිළිම, පිළිම ගෙවල් වටදා ගෙවල් ආදියද හදුනාගත හැකිය. සමස්ත ප්‍රදේශය පුරාම විහිදී ගිය නටඹුන් විශේෂයෙන්ම කැපී පෙනේ. ඉතා විශාල සංඛ්‍යාවක් වූ ශිලා ලේඛනයන්ද මේ අතර වේ.     

     මෙහි ඇති බිතුසිතුවම් ඉතා වැදගත් ස්ථානයක් හිමි කර ගනී. කොරවක් ගල් ලෙනෙහි දැනට චිත්‍ර කොටසක් ශේෂව ඇත. ‍මෙය සීගිරි චිත්‍ර සිහිපත් කරවන්නකි. මෙහි කටින් නෙලුම් මල් රඳවා ගත් හංස පන්තියක්ද වේ. බඳාම මත ඇදි රතු රේඛාවෙන් මෙම චිත්‍ර නිර්මාණය කර ඇත.                            

No comments:

Post a Comment