Friday, February 19, 2016

අහසත් පොළවත් එක් වූවා සේ පෙන්වන ක්ෂිතිජය මෙන්, පුරාවිද්‍යාවත් භෞතික විද්‍යාවත් එක්වූවා සේ පෙන්වන "කාල තරණය"...






        නූතන විද්‍යාව හා තාක්ෂණය මගින් ඒ තුල සපුරාගත යුතු, ප්‍රධාන ඉලක්ක අතර, වඩාත් විමසුමට ලක්වන ඉලක්කයකි, "කාල තරණය". කාල තරණය පිලිබද වර්තමානය වන විට, විවිධ වූ මතවාද රැසක් ඉදිරිපත්වී ඇති අතර, ඇල්බට් අයින්ස්ටයින් හා ස්ටීවන් හෝකින්ස් වැනි විද්‍යාඥයන් විසින් මෙම කාලතරණවාදය පෝෂණය කර ඇත. භෞතික විද්‍යාවේ සියලු සමීකරණ ගොඩනැගී ඇත්තේ, ලොව තුළ දැනට හදුනාගෙන ඇති වේගවත්ම දෙය වන "ආලෝකයේ ප්‍රවේගය" පදනම් කරගෙන වේ. කෙදිනක හෝ, යමෙකු විසින්, ආලෝකයේ ප්‍රවේගය අභිබවා ගමන් කලහොත්, එදින භෞතික විද්‍යාවේ සියලු සමීකරණ බිදවැටෙන අතර, ඔහුට කාලය හරහා යාම හෙවත් , කාල තරණය කිරීමට හැකි වන බව නූතන විද්වතුන්ගේ මතයයි.
          කෙසේ හෝ මෙය අනාගත ඉලක්කයක් වුවත්, කාල තරණය හා ඉතිහාසය අතර සබදතාවක් පවතින බව, සමහරෙකුගේ මතය වේ. ලොව තුළ පවතින, පුරාවෘත, ඉතිහාස කතා, ජනප්‍රවාද හා ගවේෂණ මගින් සොයාගන්නා පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් මෙම මතවාද ගොඩනැගී ඇත. එවන් වූ මතවාද සදහා අවස්ථාවක් සලසා දෙන, යූ ටියුබ් (youtube) වෙබ් අඩවියේ විකාශය වූ "still speakingout" වීඩියෝ පටය තුල, කාල තරණය හා සම්බන්ධ කරමින් සාකච්ඡාවට ලක් කල, ප්‍රධාන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත, පැරණි ග්‍රීක ස්මාරකයක තිබී සොයාගත්, කැටයමක් පිළිබදව මෙහිදී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙමු. 
              මෙම කැටයම් ඵළකය, ක්‍රි.පූ.100ට අයත් වන අතර, එය සොයාගෙන ඇත්තේ පුරාණ සොහොන් කොත් ස්මාරකයක් ආශ්‍රයෙනි. මෙය දැනට මාලිබු හි ජේ. පෝල් ගෙටි (J.Paul Getty) කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර,  "නෙස්කෝස් සොහොන් ගැබ, සේවිකාව සමග සිටින රාජකීය කත." ලෙස එය නම් කර ඇත.  මෙහි කාන්තවන් දෙදෙනෙක් සිටිති.  එක් කාන්තාවක් ආසනයක හිදගෙන, අනෙක් කාන්තාවගේ දෑතේ තිබෙන සිහින් වූ, විවර කර ඇති පෙට්ටියක් වැනි දෙයක් දෙස බලා සිටියි. අසුනේ සිටින කාන්තාව පැළද සිටින ආභරණ හා හිද සිටින ආසනයේ සින්හ පාද තිබීමෙන් ඇය රාජකීය කතක් බවත්, අනෙක් කාන්තාවගේ කොණ්ඩා මෝස්තරය හා ඇදුම් මගින් ඇය සේවිකාවක් බවත් තහවුරු වේ. කෞතුකාගාරයට අනුව, ග්‍රීක සුසාන භූමි කලාව තුළ, මෙම කැටයම බෙහෙවින් දක්නට ලැබෙන අතර , ඒ තුළින් මරණයෙන් මතුද, ලෞකික ජීවිතයක් විදීමේ බලාපොරොත්තුව පිළිබද කියැවෙන බව පෙන්වා දේ. 
                "ග්‍රීක සුසාන භූමි කැටයම් කලාව"  යන ඉතිහාස ග්‍රන්ථයේ කතුවරිය වන ජැනට් බර්නට් ග්‍රොස්මාන්  පවසන්නේ, මීට සමාන ඉරියව්වක් සහිත ඵළක රැසක් ඩෙලෝස් දූපත ආශ්‍රිතව සොයාගත හැකි බවත්, මෙහි දක්වා ඇති පෙට්ටිය වැනි දේ, ආභරණ පෙට්ටියක් හෝ කණ්නාඩියක් විය හැකි බවත්ය. එහෙත්, කාල තරණ මතධාරීන් පවසන්නේ, ආභරණ පෙට්ටියකට මෙය සිහින් වැඩි බවත්, එහි පරිඝණක පේනු සම්බන්දක යැයි සිතිය හැකි සිදුරු ද්විත්වයක් පවතින බවත්, එහි ඇති හැඩය අනුව එය ලැප්ටොප් පරිඝණකයක් ලෙස සිතිය හැකි බවත්,  එම නිසා අනාගතයෙන් කාල තරණය කරමින් අතීත ග්‍රීසියට පැමිණි අයෙකු විසින් , මෙම ලැප්ටොප් පරිගණකය, ග්‍රීසියට ලබාදී  ඇති බවත් වේ. 
                  එහෙත් සම්භාව්‍ය පුරාවිද්‍යාව තුළ, මෙම මතවාදය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලබන අතර, ඩොරති ලොබෙල් කින් පුරාවිද්‍යාඥවරිය පවසන්නේ, මෙම සුසාන භූමි කැටයම, කාල තරණය සමග කිසිසේත්ම සම්බන්ද නොවන බවයි. තව දුරටත් අදහස් දක්වන ඇය පවසා සිටින්නේ, එකල පරිගණකයක් වැනි විද්‍යුත් උපාන්ගයක් භාවිතා කිරීම සදහා, විදුලි සැපයුමක්  ලබා ගැනීමේ හැකියාවක් නොතිබුනු බවයි.
 කෙසේ හෝ, මෙම කැටයම හේතුවෙන්, පුරාවිද්‍යාව හා භෞතික විද්‍යාව එක් මාවතකට යොමුවූවා සේ පෙනුනත්, අනාගාතයේ යම් දිනක, මිනිසා විසින්  කාල තරණය නම් ඉලක්කය ජයගන්නා තුරු, එය එසේ නොවන බව පමණක් වර්තමානයේ සිටින අපට කිව හැකිය... 


වැඩි විස්තර සදහා පිවිසෙන්න:- http://news.discovery.com/history/archaeology/no-the-ancient-greeks-didnt-have-laptops-160205.htm                       

No comments:

Post a Comment