Friday, February 12, 2016

අම්පාර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන අනතුරේ



අම්පාර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන අනතුරේ

අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් අක්කරපත්තු,ආලයඩිවෙම්බු ප්‍රදේශිය ලේකම් කොට්ඨාශය පුරා විසිර පවතින ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන ඩෝසර්  කර කුඹුර සැදීම,පුරාවස්තු විනාශ කිරීම,පුරාණ ගරා වැටි ඇති දාගැබ් විනාශ කිරීම උග්‍ර වී ඇත.විශේෂයෙන් ඉකුත් කාලයේ ආලයඩිවෙම්බු සාගම ප්‍රදේශයේ කුඹුරු යායක් මැද පිහිටි මොට්ටයාගල නැමැති ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයේ පිහිටි ඉපැරැණි ගල්කණු විනාශ කර එහි වූ දාගැබක නටබුන් ඩෝසර් කර කුඹුරක් සැදීමට පියවර ගෙන තිබීම පිළිබද මාධ්‍ය මගින් හෙළිදරව් කර ඇත.
ඉන් අනතුරුව පුරාවිද්‍යා  බලධාරින් විසින් එම ස්ථානයේ ම්නුම් කර මායිම් ගල්කණු සිටුවා පුරාව්ද්‍යා ස්ථානයක් බවට නම් කර ඇත. නමුත් නැවතත් එම ප්‍රදේශය ඩෝසර් කර ලියදි සකස් කර වී වපුරා ඇති බවට දැක ගත හැකිවේ.
   ශ්‍රී ලංකාවේ වෙනත් දිස්ත්‍රික්ක වලට වඩා අමිපාර දිස්ත්‍රික්කයේ විශේෂ භූගෝලීය ලක්ෂණය වන්නේ තැනිතලා භූමි ප්‍රදේශය තුළ වර්ග කිලෝමීටර් 3/4 ක් ඇතුළත හුදකලා කුට්ටි ගල් කදු පිහිටා තිබීමය.බෝහෝ හුදකලා ගල් කදු ගැටයකම කටාරම් කෙටූ ගල් ලෙන් , දිය නොසිදෙන පොකුණු, පඩි පේළි, ගල් කණු , ගරා වැටුණු දාගැබ් දක්නට ලැබීම විශේෂයකි.මේ වන විට මේ සියලු ස්ථානයන් හි පිහිටි පුරාවස්තු බොහොමයක් නිදන් හොරුන් සහ වෙනත් පුද්ගලයින් විනාශ කර දමා ඇති අයුරු දැක ගත හැක.
පත්තල් ඔය රක්ෂිතයේ පිහිටි වම්මිඅඩිකුලම් නැමැති ජලාශය අසල පිහිටි කදුගැටය මත බොහෝ නටබුන් දැක ගත හැක. මෙහි පාමුල ආරණ්‍ය සේනානසනයක් පැවති බවට සාධක හමු වී ඇත.එසේම කොක්කුළු වයි කන්ද මුදුනේද පුරාවස්තු  විනාශ කර දමා ඇති අයුරු දැක ගත හැකි අතර එහි පාමුල වූ දාගැබක නටබුන් ඩෝසර් කර පාරක් තනා ඇති අයුරු දක්නට ලැබේ.මෙම ප්‍රදේශයේ ආලයඩිවෙම්බු හා සම්මන්තුර ප්‍රදේශිය ලේකම් කොට්ඨාස වල පිහිටි ජලාශය ඉපැරණි එකක් වන අතර කුඩා කදු ගැට දෙකක් යා කොට තනා ඇත.මෙහි පිටවාන ඇති නමුත් ජලය පිට කරන සොරොව්වක් නැත.ඒ අනුව මෙය මිනිසුන්ගේ සහ සතුන්ගේ  ප්‍රයෝජනය සදහා ඉදි කල එකකි.එහි එක් පසක ඇති කදුගැටය මත ගරා වැටුණු දාගැබක් ගල් කණු , මුරගල්, කැටයම් සහිත ගල් ලෑලි දක්නට ලැබේ.මේවා සියල්ල විනාශ කර තිබේ.
මේ ස්ථානයන්හි පිහිටි පුරාවිද්‍යා ස්ථාන තවමත් හදුනාගෙන නැති අතර එවා පිළිබද පුරාවිද්‍යා දෙපාර්මේන්තුව හෝ වෙනත් වග කිවයුතු අංශ මෙතෙක් ගවේෂණයක් කර ඇති බවක් ද නොපෙනේ.මේ නිසා විශේෂයෙන් පුරාවිද්‍යා දෙපාර්මේන්තුව මේ ප්‍රදේශය පූර්ණ ගවේෂණයට ලක් කර වැදගත් පුරාවිද්‍යා ස්ථාන හදුනාගෙන ඒවා සුරක්ෂිත කිරීමට වහා පියවර ගත යුතුය.
  
 
 

No comments:

Post a Comment