අභිලේඛන විශාල ප්‍රමාණයක් සහ අතීතයේ දී සංසරණය වු විවිධ වර්ගයේ කාසි ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල විසිර පවතී. විවිධ ඓතිහාසික සන්සිද්ධි පිළිබඳව නිවැරදිව කියැවෙන මෙම ලේඛන හා කාසිවලින් ශ්‍රී ලාංකේය ඉතිහාසය ගොඩනැගීම සඳහා ලැබෙන පිටිවහල ප්‍රසංශනීයයි.
අතීත ජීව ගුණයෙන් පරිපූර්ණ වූ මෙම සාධක සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ නෛතික අයිතිය හිමිව ඇත්තේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයටයි. එම උරුමයන් තුළ සැඟව ඇති අතීතයේ සිදු වු යම් යම් සිදුවීම් හා ක්‍රියාකාරකම් මගින් වඩාත් තාර්කික වූත් ඉතිහාසයක් ගොඩනැගිය හැකි බව ජනතාව දැනුවත් කරමින් ඒවා ආරක්ෂා කර ඉදිරි පරපුරට උරුමකර දීමේ වගකීම අභිලේඛන හා නාණක විද්‍යා අංශය සතු වේ.
ශ්‍රි ලාංකීය අනාගත පරපුරට අභිලේඛන හා නාණකවිද්‍යාත්මක උරුමය දායාද කිරීමේ අභිප්‍රාය පෙරදැරි කරගෙන අංශයේ ඉදිරි දැක්ම, මෙහෙවර හා කාර්ය භාරය සකස් වී ඇත.
කාර්ය භාරය
- සියලූ ම අභිලේඛන හා කාසි හඳුනා ගැනීම සහ ලේඛන ගත කිරීම.
- අභිලේඛන ස්පර්ශ ලාංඡන ගැනීම.
- රැස්කරන ලද ක්ෂේත්‍ර දත්ත සහ ස්පර්ශ ලාංඡන ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යාම.
- අභිලේඛන කියවීම.
- පර්යේෂණ කිරීම.
- පර්යේෂණ ප්‍රථිඵල ප්‍රකාශයට අවශ්‍ය මූලික කටයුතු සකස් කිරීම.
- අභිලේඛන ආරක්ෂා කිරීම සඳහා අදාළ අංශවලට නිර්දේශ ඉදිරිපත් කිරීම හා අවශ්‍යය දත්ත සැපයීම.
ව්‍යාපෘති
- අභිලේඛන හා නාණකවිද්‍යා අංශය මගින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි
- ශ්‍රී ලංකාවේ ශිලාලේඛන දිස්ත්‍රික්ක මට්ටමින් සුචි ගත කිරීමේ ව්‍යාපෘතිය
- ඓතිහාසික අභිලේඛන වාර්තාගත කිරීමේ ව්‍යාපෘතිය
- කාසි සුචි ගත කිරීමේ ව්‍යාපෘතිය
- ශිලාලේඛන ප්‍රකාශයට පත් කිරීමේ ව්‍යාපෘතිය
- ශිලාලේඛන පරිවර්තන නාම පුවරු සකස් කිරීමේ ව්‍යාපෘතිය
- ශිලාලේඛන පිටපත් හා ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය
අභිලේඛන
ඕනෑ ම මතුපිටක් මත ලියන ලද පැරණි ලේඛන හෝ සංකේත අභිලේඛන නම් වේ. ලාංකිකයා බොහෝ විට අක්ෂර ලිවීම සඳහා යොදා ගත්තේ ගල්තලයයි. මීට අමතරව මැටි, කඩදාසි, ලී, සහ රන්, රිදී, තඹ ආදි ලෝහ වර්ග ද ලේඛන මාධ්‍ය වශයෙන් භාවිතයට ගෙන ඇත.
- පූර්ව බ්රාහ්මී
- අපර බ්රාහ්මී
- පරිවර්තිත බ්රාහ්මී
- මධ්‍යකාලීන සිංහල
- නූතන සිංහල
යන අක්ෂර විද්‍යාත්මක අවධිවලට මේ අභිලේඛන අයත් වේ. මෙයට අමතර ව දෙමළ, චීන, අරාබි, පර්සියන්, සංස්කෘත, පාලි ආදී භාෂාවලින් ලියු ලිපි ද වේ. අතීතයේ දී ශ්‍රී ලංකාවට එල්ල වූ විදේශීය බලපෑම්වල ප්‍රබලත්වය මෙම ලිපිවලින් මනාව පැහැදිලි වෙයි.
ශිලාලේඛන ව්‍යාප්තිය | ශ්‍රී ලංකාවේ අක්ෂර විකාශය | |||
අභිලේඛන බොහෝමයක සඳහන් වනුයේ රජවරු හා මහජනතාව විසින් බෞද්ධ විහාරාරාමවලට සහ සංඝයාට කරන ලද ප්‍රදානයන් පිළිබඳවයි. එසේ ම පැරණි ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික, දේශපාලනික හා සමාජීය තත්තවය පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අභිලේඛන වලින් සැපයෙන දායකත්වය ප්‍රශංසනීයයි.
ශ්‍රී ලංකාවේ පැරණි කාසි
අතීත මුතුන්මිත්තන්ගේ සවිමත් දෑතින් නිමවුණු පැරණි දාගැබ්, පෙති පිළිම, වැව් අමුණු වැනි නිර්මාණ අපේ ඉතිහාසයේ විවිධ මංසලකුණු ලොවට හෙළි කරයි. මහා පරිමාණ නිර්මාණාත්මක අංගවලට අනුගත වෙමින් නිමැවුණු කුඩා කාසි ද අපේ උරුමය පිළිබඳ ව කීමට හැකි තරම් විශිෂ්ඨ තත්ත්වයේ ඒවා ය. පුරාවිද්‍යා පර්යේෂණ තුළින් අනාවරණය කර ගන්නා පැරැන්නන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා පොළොව යට සැඟවුණු කාසි මගින් පුරාණයේ පැවති කාසි නාමාවලී ගතකිරීමට මෙන් ම ඉතිහාසය අර්ථ දැක්වීම සඳහා ද සපයන දායකත්වය අතිමහත් ය.
අපේ රටේ පැවති මේ ප්‍රාථමික ගනුදෙනු පිළිබඳ පැරණිතම සාධක හමුවන්නේ මෙසොලිතික ජන සමාජය තුළින් ය.
ක්‍රිස්තු පූර්ව 3 වන සියවස වන විට ශ්‍රී ලංකාවේ කාසි භාවිතයේ ප්රභවය සිදු විය. මෙම කාසි නිෂ්පාදනය ක්රමානුකූල සැලැස්මකට අනුගත වූ බව රූපදක (කාසි අධ්යක්ෂ), රූපවාපර (කාසි අනුමතකරන්නා) ආදි කාසි නිෂ්පාදනයට අදාළ තනතුරු නාමයන් ලෙන් ලිපිවල සඳහන් වීමෙන් පැහැදිලි වෙයි. ශ්‍රී ලංකාවේ කාසි සංසරණය පිළිබඳ ව දැනට සොයා ගෙන ඇති පැරණිතම ලිඛිත සඳහන හමු වන්නේ ද මේ ලෙන් ලිපි ආශ්රයෙනි.
ලාංකිකයන් දේශීය මෙන් ම විදේශීය වෙළෙඳාමට අවතීර්ණවීම කාසි සංසරණයේ ආරම්භයට හා වර්ධනයට බලපෑ ප්‍රබල සාධකයක් විය. අතීතයේ භාවිත කාසි මගින් සමකාලීන සමාජීය තොරතුරු රැසක් ද අනාවරණය කර ගත හැකි ය. පුරාණ ශ්‍රී ලංකාවේ පැවති කාසි වර්ග කිහිපයක් මේ වන විටත් භාවිත කාලරාමුවක් අනුව දේශීය හා විදේශීය කාසි යනුවෙන් වෙන වෙන ම හඳුනාගෙන පෙළගස්වා තිබේ.
දේශීය කාසි
ලෝහ නිෂ්පාදනයත් සමඟ හුවමාරු මාධ්‍ය ලෙස විවිධ හැඩතලවලින් යුත් ලෝහ කැබලි භාවිත කරන්නට යොමු වී තිබේ. පසුව ක්‍රමවත් හැඩයකින් යුතුව කාසි බිහි විය.
- හස් එබූ කාසි
- ස්වස්තික කාසි
- ඇතා සහ ස්වස්තික කාසිය
- ගස සහ ස්වස්තික කාසිය
- සිංහයා සහ ස්වස්තික කාසිය
- සිංහ කාසි
- වෘෂභ කාසි
- ලක්ෂ්මි කාසි
- රන් කහවණුව හා අනුකොටස්
- මධ්‍යකාලින තඹ මස්ස කාසි
- යාපනයේ සේතු කාසි
- මස්ස කාසි
- පනම
- අඟුටු මස්ස / කොකු කාසිය
විදේශීය කාසි
ශ්‍රී ලංකාව අතීතයේ පටන් ම පෙරපර දෙදිග වෙළඳ මධ්‍යස්ථානයක් විය. වෙළඳ කටයුතු මෙන් ම රාජ්‍යතාන්ත්‍රීක සබඳතා, සංචාරක කටයුතු හා අධිරාජ්‍යවාදී ආක්‍රමණ මත ශ්‍රී ලංකාව නිරන්තරයෙන් විදේශීය බලපෑමට ලක්විය. ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් හමුවන කාසිවලින් මේ බව තහවුරු වේ.
- රෝම
- සොළි - පාණ්ඩ්‍ය කාසි (චෝළ - පල්ලව)
- චීන
- අරාබි
- පගෝදි
- පෘතුගිසී
- ලන්දේසි
- ඉංග්‍රීසි
No comments:
Post a Comment